සිරගත කළත් ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නවත්වන්න බෑ

ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණයේදී සිය ඡන්දය භාවිතා කර නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“2005 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකාවේ පුරවැසිකම නොමැතිව ගෝඨාභය මැතිතුමා ඡන්දය පාවිච්චි කළා කියලා ලේක්හවුස් පුවත්පත්වල මීට සති කිහිපයකට පෙර පුවතක් පළ වුණා.  ලේක්හවුස් කියන්නේ ආණ්ඩුවේ පචමෝල නිසා අපි ඒකට වැදගත්කමක් දුන්නේ නෑ.  නමුත් ඊයේ දිනයේ පොලිසිය විසින් බී වාරතාවක් මගින් මේ පිළිබඳ විර්මශනයක් කරගෙන යනවා කියලා උසාවියට කරුණු ඉදිරිපත් කළා.  ජනපතිවරණ ප්‍රකාශයට පත් කර තිබිය දී පොලිසියත් භාවිතා කරමින් තවත් ගෝඨාභය මැතිතුමා එරෙහි මඩ ප්‍රහාරයකට ලැහැස්ති වන බව පෙනෙන නිසා මේ කතාවේ ඇත්ත නැත්ත පැහැදිලි කිරීම අපේ යුතුකමක්.

ගෝඨාභය මැතිතුමා අමෙරිකාවේ නිත්‍ය නේවාසික තත්වය ලබා ගන්නේ තේරෙන භාෂාවෙන් කියනවා නම් green cardholder වෙන්නේ 1992 දී.  ඒ කියන්නේ එතුමා තවමත් ලංකාවේ පුරවැසියෙක් නමුත් කැමති කාලයක් ඇමෙරිකාවේ ජීවත් වෙන්න වීසා තිබෙනවා.  එක පැත්තකින් එතුමාට ඡන්ද අයිතිය තිබෙන්නේ ලංකාවේ.  අනිත් පැත්තෙන් තමන්ගේ සහෝදරයෝ දේශපාලනය කරන නිසා ඡන්ද අයිතිය වැදගත්.  ඒ අනුව මැදමුලන නිවසේ ඡන්දහිමි නාම ලේඛණයේ දිගටම ගෝඨාභය මැතිතුමාගේ නම තිබුණා.

2003 වසරේ දී ගෝඨාභය මැතිතුමා ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගන්නවා.  නමුත් 2004 වසරේ ඡන්දහිමි නාමලේඛණයටත් පරණ පුරුද්දට නම එකතු කරනවා.  2005 ජනාධිපතිවරණ සමයේ සංධානයේ ජනාධිපති අපේක්ෂක වන්නේ තමන්ගේ අයියා මහින්ද රාජපක්ෂ මැතිතුමා.  අයියාට උදව් කරන්න මේ මල්ලි ලංකාවට එනවා.  එතැන දී තමන්ගේ නමට ඡන්දයක් තිබෙන බව දැන ගන්නවා.

2005 ජනාධිපතිවරණය කියන්නේ තියුණු කරගයකින් පස්සේ මහින්ද මැතිතුමා 50.29%ක්  ජය ගත් මැතිවරණයක්. සෑම ඡන්දයක්ම වටින ජණාධිපතිවරණයක්.  නමුත් මේ නීතිගරුක මල්ලි තමන්ගේ අයියා වෙනුවෙන් ඒ ඡන්දය පාවිච්චි නොකර ඉන්න තීරණය කරනවා.  මොකද එතුමා දැන් ලංකාවේ පුරවැසියෙකු නොවන බව වෙන කවුරුවත් නොදැන සිටියත් එතුමාගේ හෘද සාක්ෂිය දන්නවා.  තමන්ගේ අයියාට එක ඡන්දයක් වුවත් වැදගත් බව පෙනිලාත් මහින්ද අයියාට තිබෙන ආදරයට උඩින් නීතිය ඔසවා තබන්න ගෝඨාභය මල්ලි කටයුතු කළා.  එතුමාට මඩ ගහන්න භාවිතා කරන්න හැදූ මේ කාරණයම එතුමාගේ අවංකකමට නීතිගරුක බවට පිදෙන මල් මිටක් බවට පත් වෙනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබිය දී මෙවැනි විර්මශනයක් ආරම්භ කර තිබීම නිසා අවසන් මොහොතේ ගෝඨාභය මැතිතුමා හිරේ දාලා ඡන්දය ඉල්ලීම් අවස්ථාව අහිමි කරන්න ගෝඨා භය කියන භයානක රෝගයෙන් පෙලෙන මේ ආණ්ඩුව කටයුතු කරන බවට ජනතාව තුල කුකුසක් ඇති වී තිබෙනවා.  ඒ නිසා මේ පිළිබඳ නීතිමය තත්වය පැහැදිලි කිරීම අපේ යුතුකමක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89(ඈ) වගන්තිය අනුව යම් පුද්ගලයෙකු වසර දෙකකට නොඅඩු සිර දඬුවමක් නියම වී එයින් මාස හයක් සිර දඬුවම විඳ ඇත්නම් වසර හතකට මැතිවරණයකට තරග කරන්න බෑ.  එහෙම නම් ගෝඨාභය මැතිතුමාට එරෙහිව හෙට නඩුවක් පවරලා හෙටම තීන්දුව දීලා වසර දෙකකට වැඩි සිර දඬුවමක් නියම කළත් එතුමාට ඡන්දය ඉල්ලන්න බාධාවක් නෑ.  ඇයි? නාමයෝජනා භාර දෙන දිනය වන විට සිර දඬුවමෙන් මාස හයක් ගත වී නැති නිසා.  අද සිට නාමයෝජනා සඳහා තිබෙන්නේ දින 15ක පමණ කාලයක්. එතුමාව සිරගත කරලා එතුමාට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව අහිමි කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් තිබෙනවා නම් කාලයා විසින් එම කුමන්ත්‍රණය දැනටමත් පරාජය කර හමාරයි.

තවත් සමහරු මෙහෙමත් අහනවා.  මේ කුරුමානම අල්ලන්නේ නාමයෝජනා දිනයේ දී අත්අඩංගුවට අරගෙන නාමයෝජනා භාර දීම වලක්වන්න නේද කියලා.  ආණ්ඩුව ඇත්තටම එහෙම සිතා ගෙන ඉන්නවා නම් ආණ්ඩුවට වැරදිලා.  1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනතේ 13(1) වගන්තිය අනුව ජනාධිපතිවරණ නාමයෝජනා භාර දීම අපේක්ෂකයාට හෝ ඔහුගේ නම යෝජනා කරන තැනැත්තාට කරන්න පුළුවන්. 12(1) වගන්තියෙන් කියනවා කාටද නාමයෝජනා පත්‍රයට අත්සන් කල හැක්කේ කියලා. පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉල්ලනවා නම් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා.    ගෝඨාභය මැතිතුමා ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.  ගෝඨාභය මැතිතුමාට හෝ පොදුජන පෙරමුණේ ලේකම්තුමාට නාමයෝජනා භාර දෙන්න පුළුවන්. සිරගතකලත් රක්ෂිත බන්ධනාගාර ගත කලත් ගෝඨාභය මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නතර කරන්න මොන සක්කරයටවත්  බෑ කියන එක අපි ඉතාම වගකීමෙන් කියනවා.

ඔච්චරටම ආසාවක් තිබෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහතා හිරේ දාන්න කරුණාකරලා ඒක කරන්න. ඉන් අපිට වාසියක් මිස අවාසියක් නෑ. ලංකාවේ තිබෙන අනුකම්පා ඡන්ද අනුව නම් ඡන්ද කාලයේ හිරේ දාන එක අපට වාසියි.  1988 දී  කලුතර දිස්ත්‍රිකයෙන් කෝඩුකාර අප්ක්ෂකයෙක් ඉදිරිපත්වුණා තිලත් කරුණාරත්න මැතිතුමා. මැතිවරණයේ මැද තිලක් කරුණාරත්න මැතිතුමාව හිරේ දැම්මා. එතුමාගේ ආධාරකරුවන් පෝස්ටරයක් ගැහුවා තිලත් කරුණාරත්න සිපිරිගෙයින් මැතිසබයට කියලා. ප්‍රතිඵලය මොකද්ද?  රත්නසිරි වික්‍රමනායක, අනිල් මුණසිංහ, නෙවිල් ප්‍රනාන්දු වැනි දැවැන්ත චරිත පස්සට තල්ලු කරලා කෝඩුකාර තිලක් කරුණාරත්න මැතිතුමා මනාප ලැයිස්තුවේ පළමුවැනියා වුණා.  ඒ වගේම 2010 දී මැතිවරණය මැද පාලිත තෙවරප්පෙරුම මැතිතුමා හිරේ දැම්මා.  ප්‍රතිඵලය?  එතුමා මනාප ලැයිස්තුවේ පළමුවැනියා වුණා.  2015 මැතිවරණයේ දී ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රිතුමාව හිරේ දැම්මා.  රත්නපුරේ හැමදාම පළමුවැනියන් වන පවිත්‍රා මැතිණිය සහ ජෝන් සෙනෙවිරත්න මැතිතුමා පහලට ඇද දමලා ප්‍රේමලාල් මැතිතුමා පළමුවැනියා වුණා.  ඒ නිසා මේ වෙලාවේ ගෝඨාභය මැතිතුමා හිරේ දාන එක අපේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දෙන සහයෝගයක් හැටියටයි අපි දකින්නේ. ඒ උදව්වත් බාරගන්න අපි සූදානම්.”

Related posts

Leave a Comment